Sunday, 12 May 2024

ඇතුගල වෙහෙර 🌼🌼

මං අද ඔයාලට කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික මෙන්ම ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ගැන.ඒ තමයි ඇතුගල වෙහෙර.🙏🌼 ඇත් කඳක ස්වරූපය ගත් මහා පර්වතය මායිම් කරගෙන ඉදිකරන ලද විහාරය ඇත්කද රජමහ විහාරය ලෙසට හඳුන්වනු ලබන අතර එය හත්ථි කන්ද විහාරය ලෙසත් හති ගිරි විහාරය ලෙසත් හඳුන්වනු ලබයි.



කුරුණෑගල මහනුවර මාර්ගයේ ප්‍රධාන හතරමං හන්දියේ සිට මීටර් 300ක පමණ දුරක් ගිය තැන ඇත්කඳ රජ මහා විහාරය හමුවේ. විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා ඈතට දිව යයි. 

ඉතිහාසය 

එය ක්‍රිස්තු පූර්ව 177 - 187 දක්වා දිගු ඉතිහාසයකි. අනුරාධපුර යුගයේ සූරතිස්ස රජතුමා විසින් ඇත්කඳ රජමහා විහාරය නිර්මාණය කළ බව සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මෙම ස්ථානය ආගමික හා ශාසනික වශයෙන් උසුලා ඇති වැදගත්කම් පිළිබඳවයි. සූරතිස්ස රජ දවස මෙම විහාරයේ පන්සියයකට වැඩි රහතන් වහන්සේ වැඩ විසූ බව කියැවේ.

 මීට අමතරව විහාරස්ථානයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සලකනු ලබන්නේ, 4 වැනි පණ්ඩිත පැරකුම් රජු කුරුණෑගල රජ කරන සමයෙහි ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කිරීමය. ආගමික සාහිත්‍යයේ දියුණුව පිළිබඳ කතා කිරීමේදී අස්ගිරි තල්පතින් ඇත්කඳ රජමහ විහාරය පිළිබඳ කරුණු විස්තර කෙරේ. ඒ අනුව අස්ගිරි මහා විහාරයේ ආරම්භයේ දී එහි වාසය සඳහා වැඩම කළ තෙරුන් වහන්සේ ඇත් කඳ විහාරය නවාතැන් පළක් ලෙස භාවිතා කළ බවද එහි සඳහන්ය.


මෙම විහාරයේ ඇති විශාල ගලමුදුනට කුරුණෑගල නගරය ඉතා මනරම්ව දිස් වේ.මේ නිසාත් අවට ඇති ස්වාභාව සෞන්දර්යය අත්විදින්නට කැමති බොහෝ දෙනා මේ ස්ථානය නැරඹීමටත් වන්දනා කිරීමටත් පැමිණෙති.🌼🙏

නුවර අහස යට.....

 මගේ සිත්ගත් හා හදවතේ රැදුණු ඉතාමත් ප්‍රිය සංචාරක අන්තයක් තමයි   මහනුවර. 

එක් දිනකින් සංචාරය කළ හැකි ශ්‍රී ලංකාවේ  ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන මහනුවර කොළඹ නගරයෙන් පසු දෙවන විශාලතම නගරය වේ. මහනුවර නගරය  ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස හදුන්වයි. මීට අමතරව මීටර් 488 ක උන්නතාංශයක කඳුකරයේ මහනුවර පිහිටා ඇති අතර එය කොළඹ සිට කි.මී. 115 ක් දුරින් පිහිටා ඇත. මීට අමතරව මහනුවර සානුවේ කඳුකරයේ පිහිටා ඇති අතර නගරයද ශ්රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිපාලන හා ආගමික නගරයකි. මහනුවර ඇසළ පෙරහැර යනු ශ්‍රී දළදා මාලිගාව විසින් සංවිධානය කරනු ලබන දෙස් විදෙස් කාගේත් ඉතා ජනප්‍රිය සංස්කෘතික මංගල්‍යයකි.



මහනුවර කියූ පමණින් ශ්‍රීලංකාවේ අපට මතක් වන්නේ ශ්‍රී දළදා මාලිගාවයි. මහනුවර වැදගත් තැනක් වන මෙය බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර ඇති අතර  මෙම  විහාරය සමස්ත ශ්‍රීලංකාව තුළම වඩාත්ම වටිනා බෞද්ධ සිද්ධස්ථානයකි.



මෙම මාළිගාව  16 වන සියවසේදී පමණ ගොඩනඟා ඇත. මාළිගාවට ඇතුල් වීමට සංවර  ඇඳුමක් ඇඳීමට ඔබට සිදු වේ. එය ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි.

මෙහි තවත් පසකින් රාජකීය මාලිගා  සංකීර්ණය දැකගත හැකිය.  පැරණි රාජකීය මාලිගාව, බිසවගේ කාමර, සභා කුටිය සහ අවි ගබඩාව වැනි ස්ථාන  වෙත සංචාරය කරමින් පැරණි මහනුවර රාජධානියේ තොරතුරු දැකබලා ගත හැකිය . උඩරට යුගයට අයිතිවාසිකම් කියන මෙම ස්ථාන කෞතුකාගාර ලෙස භාවිතා වේ.

 

මහනුවරට තවත් සුන්දරත්වයක් එක් කරන ස්ථානයක් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය . පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ශ්‍රීලංකාවේ  දක්නට ලැබෙන උද්භිද උද්‍යාන අතරින්  හොඳම උද්භිද උද්‍යානයයි. ශ්‍රීලංකාවේ පුරාණ රජවරුන් මෙම උද්භිද උද්යානය සාදා තිබුණද, බ්‍රිතාන්‍යයන් විසින් උද්‍යානයේ  වෙනස්කම් කර ඇත. මහා බ්‍රිතාන්‍යය තුළ වර්ධනය වීමට නොහැකි වූ ගස් වගා කිරීමට උද්‍යානය භාවිතා කළහ. මෙම උද්භිද උද්‍යානය ඉතාමත් ලස්සන හා මාගේ රටට ආවේණික හා ආවේණික නොවන විචිත්‍රවත් මල් වර්ග හා ශාක වලින් යුක්තය.

සංචාරකයන් අතර තවත් ජනප්‍රිය ස්ථානයක් වන්නේ නුවර   නගර මධ්‍යයේ ඇති  සාප්පු  සංකීර්ණයයි. මහනුවර නගරයේ මෙම මහල් ගොඩනැගිල්ල මහල් 10 කින් සමන්විත වේ. දැන් මෙම සාප්පු සංකීර්ණ පුළුල් පරාසයක විවිධාකාර කඩ සාප්පු වලින් සමන්විත වේ . 

සංචාරකයෙකුට ඉතා වැදගත් කරුණු දෙකක් වන කාලගුණික තත්වය හා මෙම ගමනාන්තයට පැමිණීම ගැනත් අදහසක් පළකරන්නට අදහස් කරමි.

මහනුවර කාලගුණය ලංකාවේ සාමාන්‍ය නිවර්තන දේශගුණයට වඩා ශීතලදායී වේ. සාමාන්‍යයෙන්  මෝසම් කාලය සහ වියළි සමය කාල දෙකක් ඇත . මහනුවර වියළි මාස කිහිපය දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ත් 30 ත් අතර වේ. අනෙක් අතට, මහනුවර මෝසම් සෘතුව මැයි මාසයේ සිට ආරම්භ වන අතර අගෝස්තු මාසයෙන් එය අවසන් වේ. මෝසම් කාලය තුළ සාමාන්‍ය උෂ්ණත්වය සිට 25 ° C දක්වා 29 ° C.  මහනුවර  ආර්ද්රතාවය 70% - 79% අතර ප්රමාණයක් පවතී.

තල්පේ වෙරළ බලන්න යමු

 කඳුකරයේ සීතලද කඳුවැටි, දිය ඇලි පිරි හරිත වන තුරුලතා පිරුණු බිම්කඩින් මඳක් ඈත්ව ,මං අද කියන් දකුණු වෙරළ තීරයේ ලස්සන තැනක් ගැන. ඒ තමයි  ගාලු මාතර ඉසව්වේ  ස්වභාවික මුහුදු තඩාග.

ගාල්ලට පැමිණි පසු උණවටුන හරහා තල්පෙට ළඟා වීමට පොදු ප්‍රවාහන සේවය යොදාගන්න පුලුවන් .

දකුණු වෙරළ අලුත්ගම සිට බොහෝ සංචාරක ගම් දනව් පසුකරමින් ගාල්ල මාතර හරහා කිරින්ද හම්බන්තොට දක්වා දිවයයි. ඉන් අලුත්ගම සිට හික්කඩුව හා ගාල්ල අතරත් ගාල්ල සිට සෘජුවම මාතර දක්වාත් වෙරළ තීරය තුළ පවතින ස්වාභාවික වෙරළ සැබැවින්ම විදේශිකයන්ට මිහිබට සුරපුරක් බඳුය. අව්ව තැපීම මූලික අරමුණ කරගෙන වෙරළ තීරයේ මුහුදු රළ සමඟින් ඔබ මොබ යන විදෙස් සංචාරකයන් ඕනෑතරම් මෙම වෙරළ හා සමීපව දැක ගත හැකිය.


සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොටගෙනම දක්ෂිණ වෙරළබඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව අති මහත්ය. ගාල්ලට පැමිණෙන බොහෝ විදේශිකයෝ ගාලු කොටුවේ ප්‍රෞඪ සුන්දරත්වය විඳගත් පසු උණවටුන හෝ ආශ්‍රිත වෙරළ තීරයකට ගොස් තවත් අත්දැකීම් ලබා ගනිති. තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වන තටාක කිහිපයක් මේ දිනවල දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.  


පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළටද දිය කඳ හළමිනි. විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය ස්නානය සිදු කරති .

මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය. මන්ද ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ. අද වන විට මෙම වළවල් සුන්දර තඩාග ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.  


විශේෂයෙන්ම උදෑසන කාලය තුළ මෙම වළවල් ​ෙහාඳින් දැකගත හැකි අතර ඇතැම් විට වඩදිය - බාදිය හේතුකොට ගෙන මෙවා වසාගෙන මුහුදු ජල කඳ වෙරළට පැමිණිය හැකිය. එවිට මේවා තුළට බැස සිටීම අනතුරුදායක විය හැක. කෙතරම් සුන්දරත්වයක් විනෝදයක් මෙම තඩාග ගෙන දුන්නද මේ අසලම එක්තරා අනතුරක් පවතින බව මෙහි පැමිණෙන්නෝද දනිති. එනම් ඉකිරි නම් මුහුදු සත්වයා මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය.

ඉතින් ගාලු පුරවරයට එන ඔයාලටත් මේ වෙරලේ සුන්දරත්වය විදින්න හැකියාව තියෙනවා .💙💙








Friday, 10 May 2024

කදු වලින් වට වූ සුන්දරිය "මන්දාරම් නුවර "

මන්දාරම් නුවර


 මන්දාරම් නුවර යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි.  රාවණා රජුගේ යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම සුන්දර ගම්මානය මීදුම සහිත කඳු සහ දිය ඇලි වලින් වටවී ඇත.  ගම්මානය බටහිරින් පිදුරුතලාගලින් ද නැගෙනහිරින් බලගොල්ල කඳුවැටිවලින් ද මායිම් වේ.  එය දේශීය හා විදේශීය යන දෙඅංශයෙන්ම ජනප්‍රිය කඳු නැගීමේ ප්‍රදේශයකි.මන්දාරම්  නුවර කඳු වැටි වලින් වටවී ඇති නිසාත් දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී ඇති නිසාත් "මීදුම නගරය" ලෙසද හැඳින්වේ.  සුන්දර "කොළපතන ඇල්ල" දිය ඇල්ල ද මෙම ගම්මානයේ පිහිටා ඇත.  ටර්කියුයිස් ජලය, හරිත වනාන්තර සහ තණබිම් සහිත සීතල මීදුමෙන් ඔතා ඇති මන්දාරම් නුවර යනු ස්වර්ගීය ස්ථානයකි.  එහි භූගෝලීය පිහිටීම නිසා ගමට වසරේ වැඩි කාලයක් වර්ෂාපතනය ලැබේ.


 මන්දාරම් නුවරට යන්නේ කොහොමද ??👣

නුවරඑළියේ සිට දුර - 39.8 km (පැය 1 විනාඩි 34)

 නුවරඑළියේ සිට නුවරඑළිය-උඩ පුස්සැල්ලාව මාර්ගය ඔස්සේ දළ වශයෙන් කිලෝමීටර් 27.8ක් ගමන් කර පදියපැලැල්ල - මන්දාරම් නුවර මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් 12.4ක් ගොස් මන්දාරම් නුවරට ළඟා විය යුතුය.

මන්දාරම් නුවර ආසන්නයේ පිහිටි දිය ඇලි ගණනාවක් තිබේ.

  •  එලමුල්ල ඇල්ල
  •  කබර-ගල ඇල්ල
  •  දිගල හින්න ඇල්ල
  •  කළු පාලම ඇල්ල
ඉතින් ස්වාභාවික සෞන්දර්යය අත්විදින්න කැමති ඔයාලට මන්දාරම් නුවර සොඳුරු පාරාදීසයක් වේවි.

Wednesday, 8 May 2024

ගම්පහ තියෙන ලස්සනම තැනක් ❤️🍀

 ගම්පහ මල්වත්ත .

ගම්පහ මේ වගේ ලස්සන තැනක් තියෙනවද  කියලා ඔයාලට හිතාගන්නත් බැරි වෙයි.ඉතින් අපි බලමු එහේ විස්තර ටිකක්.........

                 👣 ගමන් මාර්ගය 

ගම්පහ නගරය පසුකර ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක් යන විට වම්පස පිහිටි මල්වත්ත පාර දිගේ ස්වල්ප දුරක් යන විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පිහිටා ඇත.

විවෘතව තැබෙන වේලාවන් - පෙ.ව 8.00 - පස්වරු 5.30


ගම්පහ නගරය පසුකර ගම්පහ- මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක් ගිය පසු මාර්ගයේ වම්පස පිහිටි මල්වත්ත දිගේ ස්වල්ප දුරක් යන විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හමුවේ. ඒ, බොහෝ දෙනකු දන්නා ගම්පහ මල් වත්තයි.
 
බැලූ බැලූ අත හරිත පැහැයෙන් දිලෙන නෙතට සෞම්‍ය සිසිලක් ගෙන දෙන ගම්පහ මල්වත්ත පවුලේ සියලු දෙනාට නැරඹීමට යෑමට සුදුසු සුන්දර පරිසරයකි. එහි ඇති සුන්දරත්වය නිසාම විවාහ මංගල ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙකු හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තෝරා ගනු ලබයි. කුඩා දරුවන්ට විනෝද වීමටත් පවුලේ සැමට නිදහසේ ගතකිරීමටත් සුදුසු ස්ථානයක් ලෙස ගම්පහ මල්වත්ත ප්‍රසිද්ධය. අක්කර 36ක පමණ භූමි පෙදෙසෙක පිහිටා තිබෙන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය විදෙස් සංචාරකයන් අතර පවා ජනප්‍රිය සොඳුරු වන අරණක් ලෙස හැඳින්විය හැකියි.




මෙරට ඇති ප්‍රධාන උද්භිද උද්‍යාන අතරට අයත් වන හෙනතරත්ගොඩ උද්භිද උද්‍යානය ද සුදු ජාතිකයන්ගෙන් අපට හිමිවූවකි. එහෙත් එහි මුල් අයිතිකරු වන්නේ ඒ ද සොයිසා මුහන්දිරම් නම් ප්‍රභූවරයෙකි.. පසුකලෙකදී මෙම භූමිය රජයට පවරා ගෙන ඇත. ශ්‍රී ලංකාව තම අණසකට යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට දේශගුණය කෘෂිකර්මාන්තයට සහ සෙසු වගාවන්ට වඩාත් යෝග්‍ය බව වටහා ගත්හ.. ඔවුන් මෙරට උද්භිද උද්‍යාන ඇති කළේ විවිධ රටවලින් ගෙන්වා ගත් විවිධාකාර වෘක්ෂලතා ඇතුළු ශාක වර්ග පර්යේෂණ මට්ටමින් සිටුවීම සඳහාය.



හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ආරම්භ කර ඇත්තේ 1876 වසරේදීියි. ගම්පහ මල් වත්ත කී සැණින් බොහෝ දෙනකුට සිහි වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම රබර් ගසයි. ඊට හේතුව ලංකාවේ පළමු වතාවට රබර් වගාව පර්යේෂණාත්මක සිදු කළ භූමිය හෙතරත්ගොඩ උද්භිද උද්‍යානය වීම නිසයි. මුල්ම රබර් බීජය හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය වන්නේ ඒ අනුවයි. එහෙත් ඒ මුල් ශාඛය මුල් කාලෙය්දී මියගොස් ඇති අතර දෙවැනි රබර් ශාකට 1988දී සුළි සුළඟකින් විනාශ වී ඇත. එහෙත් අදටත් මෙරට විශාලතම රබර් ශාකය ඇත්තේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේය. එහි උස මීටර් 40ක් වන අතර වට ප්‍රමාණය මීටර් 5.7කි.
තවත් සුවිශේෂී කරුණක් නිසා ද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වැදගත් වේ. ඒ, ගම්පහ නගරයේ සංවර්ධනය සඳහා මෙම උද්‍යානය හේතු වී තිබීමයි. වත්මන් ගම්පහ දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙන පැරිණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය එදා ස්ථාපිත කර ඇත්තේ රබර් පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන විදේශීය විශේෂඥයන්ට දුම්රියෙන් පැමිණීම සඳහාය. ඒ ආසන්නයේ ඇති ගම්පහ තානායම ඉදිකර ඇත්තේ ඔවුන්ට ලැගුම් ගැනීම සඳහා බවත් පැරන්නන්ගේ අදහසයි.


දුර්ලභ ශාක සහ සුන්දර මල්වර්ගවලින් සමන්විත මෙම උද්‍යානය නරඹන්නට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝදෙනකු පැමිණෙති. සොබාදහම සහ තුරුලතාත් පිළිබඳ පර්යේෂණ කරන්නන්ටද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පාරාදීසයකි. එකම උද්‍යානයක් තුළ විවිධ අංශ කිහිපයක් නිර්මාණය වී තිබෙනු එහි යනු ඔබට දැකගත හැකිය. වනෝද්‍යානය, ඖෂධ උයන, ජපන් ගොමුව, මල් ගොමුව, පලතුරු උයන, ගෘහ පැළ තවාන, පැළ විකුණුම් හල ඒ අතර වේ. මෙහි ඇති සමහර ශාක ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන අතර විශේෂයෙන් සිංහරාජ ඇතුළු වනාන්තරවල දැකිය හැකි දුර්ලභ ශාක හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දැකිය හැකි වේ. මෙහි ඇති ශාක විශේෂ 450ක් පමණ වේ. මීට අමතරව මෙහි පවත්වාගෙන යනු ලබන බෝට්ටු සේවාව ද දේශීය සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රියය.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ශාක පිළිබඳ අධ්‍යාපන කටයුතු, මල් වගා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදේ. මෙම උද්භිද උද්‍යානය සියනෑ පුරවරයට ඓතිහාසික වැදගත්කමක් එක් කරන සාඩම්බර උරුමයක් බව ද කිව යුතුය.



මිහිපිට සොඳුරු පාරාදීසය "රිවස්ටන්"🍀

 



රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්.


ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ යන ගමනේදී, එද්දී සෙම්බුවත්ත වැවත් බලාගෙනම එන්න පුළුවන්. සෙම්බුවත්ත යද්දී, 1949 පටන් ගෙන තියෙන ඇල්කඩුව තේ ෆැක්ටරියත් අහුවෙනවා .

 රිවස්ටන් ගමන නම් මාරම ලස්සන පරිසරයක් අතරින් යන්න තියෙන ගමනක්. කොහොම උනත් ඒ ලස්සන පරිසරය විනාශ නොකර එන්න වග බලාගන්න🥰🥰👣


පිඹුරත්තෑව 💙🌊

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ  දක්නට ලැබෙන සශ්‍රීක හරිත පරිසරයේ විස්මිත දසුන් වලින් වට වූ සුන්දර වැවකි පිඹුරත්තෑව . මාදුරුඔය වේල්ලේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා ඇති මෙය විශේෂයෙන් සවස් කාලයේ අලි ඇතුන් පැමිණීම ඉතා සුලභ බැවින් මෙම වැවේ දිය නෑමේදී ප්‍රවේසම් විය යුතුය.

පිබුරත්තෑව වැවට යන්නේ කොහොමද 🌊🌊💙👣

  පොළොන්නරුවේ සිට මරදන්කඩවල-හබරණ-තිරුක්කොන්දඅඩිමඩු මහා මාර්ගය ඔස්සේ ගමන් කර මනම්පිටිය-අරලගංවිල-මාදුරුඔය මාර්ගය ඔස්සේ අරලගංවිල දක්වා ගමන් කර පිඹුරත්තෑව වැවට යන්න පුලුවන් .






මෙම පිඹුරත්තෑව නම් වැවේ ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී සඳහන් වන්නේ, මෙම පිඹුරත්තෑව වැව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපෘතියක කොටසක් ලෙස ඉදිකරන ලද්දක් බවයි. එසේම එය අරලගංවිල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට ජලය සැපයීම සඳහා ඉදිකරන ලද ජලාශයකි. පිඹුරත්තෑව වැව මූලික වශයෙන් හ¾දුනාගෙන ඇත්තේ එහි වැවේ ජලය පිටාර ගැලීමේ සැලසුම මඟිනි. ජල කාන්දුව සෑදී ඇත්තේ ත්‍රිකෝණ රාශියකිනි. ත්‍රිකෝණාකාර මෝස්තර සහිත ජල කාන්දුවීම් පහකට වඩා මෙහි දක්නට තිබේ. 



දිය ඇල්ලක් නොවුණත් එය දිය ඇලි එකතුවක් වන අතර ජලාශය වාන් දමන කාලයේදී එහි සුන්දරත්වය මැනවින් දැකගත හැකි අතර සංචාරකයන් වන ඔබට රිසි සේ ස්නානය කරමින් ජලයේ බැස විනෝද වන්නට හැකිය. මෙම වැව පිහිනුම් ස්ථානයක් ලෙස ප්‍රදේශවාසීන් විසින් ප්‍රිය කරන අතර සංචාරකයන් සුලබව එහි සුන්දරත්වය අත්දකිනු රිසියෙන් පැමිණේ.





Wednesday, 24 April 2024

ඇල්ල .......


ඇල්ල  කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය.

 බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් සීට් , ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැනක් තමයි ඒ.

ඉතින් ඇල්ලට එන ඔයාල මේ එක තැනක්වත් මග නොහැර බලලා යන්න අමතක කරන්න එපා❤️❤️💙👣




Tuesday, 12 March 2024

Marble beach

 ශ්‍රි ලංකාව මුහුදින් වටවූ සුන්දර දිවයිනකි.ආකර්ෂණීය වෙරළ තීරයක් ශ්‍රී ලංකාවට හිමිය.ඒ අතරින් වඩාත් ජනප්‍රිය වෙරළ තීරයක් තමයි මාබල් බීච් (කිරිගරුඬ වෙරළ )කියන්නේ .තිකුණාමලය නගරයේ සිට කිලෝමීටර් 11 ක් පමණ දුරින් කින්නියා පාරේ මාබල් බීච් හමුවෙයි . වෙරළට එහි නම ලැබුණේ එහි ඇති පළිඟු මෙන් පැහැදිලි ජලය නිසාය.  අව්ව සහිත දිනයක, කිරිගරුඬවලින් නිර්මාණය කර ඇති පරිදි ජලයේ මතුපිට දීප්තිමත් ලෙස බැබළෙනු දැකිය හැකි බව කියයි.


ඉතාමත් ආකර්ෂණීය ලෙස දිස්වන මේ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරක හැමෝගෙම සිත් දිනාගෙන ඇත.විනෝද වීමට, පාරිසරික සුන්දරත්වය වීදීමට කැමති බෝහෝ දෙනා මේ වෙරළ බලන්න එනවා.🌊🌊😍ඒ වගේම තමයි ජල ක්‍රීඩා කරන ආධුනිකයනට මේ වෙරළ ඉතාම හොඳ තැනක්.















Sunday, 10 March 2024

මී මුරේ යමු

 පරිසරයට ආදරෙ කරන ඒ සුන්දරත්වය විඳින්න කැමති ඔයාලට යන්න පුළුවන් තවත් ලස්සන තැනක් ගැන තමයි අද කියන්නේ .නම ටිකක් නුපුරුදු වුනත් ලංකාවේ තියෙන ලස්සනම ගමක් විදිහට මී මුරේ හඳුන්වන්න පුළුවන් .ශ්‍රී ලංකාවේ පැරණි ගැමි සංස්කෘතියේ නටඹුන් තවමත් ඉතිරි වී තිබෙන තැනක් තමයි මී මුරේ කියන්නේ .එහි ඇති සුන්දරත්වය ,සරල ජීවන රටාව, නිස්කලංක පරිසරය එහි එන සංචාරකයින්ට.මහත් වූ ආශ්වාදයක් .🍀❤️

         


භූගෝලීය පිහිටීම වශයෙන් ගත්විට මීමුරේ මේ කුඩා හුදකලා ගම්මානය පිහිටලා තියෙන්නෙ මාතලේ සහ මහනුවර කියන දිස්ත‍්‍රික්ක දෙක අතර.කොළඔ නගරයේ ඉදන් මීමුරේට තිබෙන දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 175ක්.ඔබ කොළඔ නගරයේ සිට මී මුරේට යන කෙනෙක්නම් ඔබ මුලින්ම කොළඔ නගරයේ සිට කිලෝ මීටර් 126ක් දුරින් පිහිටි මහනුවර නගරයට යා යුතුයි..ඉන්පසුව ඒ 26 එනම් මහනුවර මහියංගන මාර්ගයේ මහනුවර සිට මහියංගනය දෙසට කිලෝ මීටර් 35 ක් ගමන් කරන විට හුන්නස්ගිරිය හන්දිය හමු වෙනවා. හුන්නස්ගිරිය හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් 35ක් පමණ ඉදිරියට ගමන් කරන  විට  ලෝල්වත්ත ගම්මානය ඔබට හමුවේවි. මේ ආසන්නයේ තමයි මීමුරේ සුන්දර ගම්මානය පිහිටලා තියෙන්නේ.
     
    ඔයාලා දන්නවද අපි පොඩි කාලේ ගොඩක් ආසවෙන් බලපු සූරිය අරණ ච්ත්‍රපටය රූගත කරලා තියෙන්නෙත් මේ සොඳුරු ගම්මානයේ කියලා.🥰🥰
        විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ගම්මානයේ ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයම ජීවනෝපාය කරගත් 400 ක් පමණ සුළු  ජන කොටසක්..සුන්දරත්වය විදින්නට යන අපි ඒ සුන්දරත්වය අනාගතය වෙනුවෙනුත් ඉතිරිකර පැමිනීමට මතකතබා ගත යුතුමයි.


මීමුරේ ගම්මානයට යන ඔයාලට ලස්සන දර්ශන ගොඩක් දකින්න ලැබේවි.ඒ අතර

👣සුන්දර දිය ඇලිවල විනෝද වෙන්න,පීනන්න,නාන්න වගේම

👣🍀වනාන්තරවල ඇවිදින්න
ලස්සන ඡායාරූප ලබා ගන්න

👣කදු නගින්න වගේ ලස්සන අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුලුවන්.

ඒ වගේම මීමුරේ අවට තිබෙන තවත් සුන්දර ස්ථාන රාශියක් තිබෙනවා. 
නකල්ස් කදු වැටිය 
පුංච් ලෝකාන්තය     වගේ ලස්සන තැන්වලට ගිහින් ඔයාලගේ මේ සංචාරය තවත් ලස්සන කරගන්න අමතක  කරන්න එපා.ඉතින් මේ ගම්මානයේ සුන්දර පරිසරයක නිවාඩුවක් ගතකරන එක කාර්‍යබහුල ජිවීතයක්  ගත කරන ඔයාලා හැමෝටම ලොකු මානසික සතුටක් අරන් ඒවි..
වචනයෙන් මං කියනවට වඩා අනිවාර්යෙන්ම මීමුරේ ගිහින් මේ සුන්දර අත්දැකීම් විදගන්න තවත් ප‍්‍රමාද වෙන්න එපා..❤️❤️❤️





Sunday, 4 February 2024

සුන්දර බදුලුපුරය



ඌව පළාතේ පිහිටා ඇති බදුල්ල දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරක හැමෝගෙම සිත් දිනා ගත් ස්ථානයක් ලෙස හදුන්වන්න පුලුවන් .ඉතා සෞම්‍ය දේශගුණයක් තියෙන බණ්ඩාරවෙල නගරයත් ,ඇල්ල සංචාරක කලාපයත් මෙහිදි අපට හමුවන සුන්දර ගමනාන්ත දෙකක් .☺😍👣.

මේ විතරක්  නෙවේ තවත් සංචාරක ස්ථාන බොහොමයක් මෙහි දක්නට ලැබෙනවා.දැන් බලමු ඒ මොනවද කියලා .

   🍀දෙමෝදර ආරුක්කු නවයේ පාලම

  බදුල්ල බණ්ඩාරවෙල දුම්රිය මාර්ගයේ ගමන් කරන අපට හමුවන මෙම පාලම ඉතා ආකර්ෂණීය ස්ථානයකි .දෙමෝදර පිහිටා ඇති මේ පාලම බ්‍රිතාන්‍යන් මෙරට පාලනය කරන කාලේ ඉදිකරන ලද විශිෂ්ට නිර්මාණයක් .1872  දී වැඩ ආරම්භ  කරලා 1924 දි තමයි මෙය ඉදිකරලා අවසන් වෙලා තියේන්නේ.පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර තිබෙන මඩ ගොහොරුවක නිසා මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර විශාල කුලුනු 10 ක් ආධාර කරගෙන තමයි ආරුක්කු නවය හදලා තියෙන්නේ .

  මේ පාලම බලන්න යන්න කැමති ඔයාලට බදුල්ල බණ්ඩාරවෙල පාරේ රෙදිපිළි මධ්‍යස්ථානය ලග ඉදලා ගොටුවෙල පාරේ කිලෝමීටර් 2 ක් විතර ගමන් කරාම මෙතනට ලගා වෙන්න පුලුවන් .

  ඔයාලා මේ ගැන තවත් තොරතුරු  දැනගන්න කැමති නම් පහලින් තියෙන ලින්ක එක යොදා ගන්න .

👉වැඩි විස්තර දැනගන්න ...


                🍀දුන්හිද දිය ඇල්ල 

ලංකාවේ තියෙන සුන්දර දියඇලි වලින් එකක් තමයි දුන්හිඳ කියන්නේ.බදුලුපුරයට එන හැමෝගෙම සිත් දිනා ගැනීමට සමත් මේ ඇල්ල බදුල්ල  නුවර ප්‍රධාන මාර්ගයේ සිට කි.මි 1 ක පමණ දුරකින් පිහිටා  ඇත.බදුලුපුරයට එන ඔයාලා දුන්හිඳ  ඇල්ල බලලා යන්න අමතක කරන්න නම් එපා.ඉතින් දුන්හිඳ යන්න කැමති  ඔයාලට පහල තියෙන ලින්ක් එකෙන් තවත් විස්තර ගොඩක් දැන ගන්න පුලුවන් .


👣දුන්හිඳ යමූ......


                  🍀ලිප්ටන් සීට්


ලිප්ටන් සීට් කියන්නේ පළාත් 5ක් එකම තැනක ඉදන් දකින්න පුලුවන් බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ලෝකයේ සුන්දරම තැන් වලින් එකක්.ලංකාවේ තේ ලෝකය හදුන්වන්නේ 'ලිප්ටන් තේ ' කියලයි.ලිප්ටන් ගේ තේ  වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න , බණ්ඩාරවෙල පූනාගල අතර කඳු ඉස්මත්තාවේ.ස්වාභාවික සුන්දරත්වය විතරක් නෙවේ  එදා ලංකාවේ වැවිලි රාජ්‍යයේ හැඩරුව කියන ජනප්‍රවාදය  නිසාම මේ තැන බලන්න විශාල පිරිසක් එනවා.

බදුල්ලට එන ඔයාලට මේ තැන බලන්න යන්න පුළුවන් පහසු මාර්ගයක් පහල තියෙන ලින්ක් එකෙන් ඉක්මනින් හොයාගන්න පුළුවන් වේවි.😊

👣🍀🍀ලිප්ටන් සීට් යන පාර 



             (ලිප්ටන් සාමිවරයාගේ ප්‍රතිමාව)



                👣ඇඩිෂම් බංගලාව 




   මීදුමෙන් වැසුණු සීතල හපුතලේ නගරයේ සිට කිලෝ මීටර් හතරක් වාහනය පදවාගෙන යන අයෙකුට ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන පැරණි පන්නයේ තාපසාරාමය මග නොහැරෙන බව නම් විශ්වාසයි. හරිත පැහැ කඳුවැටි අතර ශාන්ත ව වැජඹෙන මේ ඇඩිෂම් බංගලාව දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා ‍සොඳුරු ස්ථානයක්. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට එය ගොඩ නංවා ඇත්තේ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් විසින්. 1869 දී ඔහු උපත ලබා තිබුණේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට අයත් ඇඩිෂම් නම් සොඳුරු ගම්මානයක යි.

  ඉතින් ඔහු ලංකාවට ඇවිත් ඒ නමින් මෙම බංගලාව ඉදිකර තිබෙනවා.ඔයාලා ඇඩිෂම් බංගලාව බලන්න යනවනම් කොළඹ බදුල්ල පාරේ හපුතලේ ටවුන් එකෙන් වමට හැරිලා වැලිමඩ පාරේ ටික දුරක් ගියහම තමයි මේක දකින්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම තමයි මේක බලන්න සතියේ හැම දවසකම බෑ.සෙනසුරාදා ,ඉරිදා ,පෝය නිවාඩු හා පාසල් නිවාඩු දවස්වලට විතරයි ඇඩිෂම් බංගලාව බලන්න අවසර දෙන්නේ .


                   🍀රාවණා ඇල්ල 


බදුල්ලේ ගියොත්  බලන්නම ඕනේ දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල. රාවණා ඇල්ල ඈත අතීතයේ ඉදලම හරිම ප්‍රසිද්ධ දිය ඇල්ලක්. පැරණි ජනප්‍රවාධ වල සදහන් වෙන විදිහට රාවණා රජ්ජුරුවෝ ඉන්දියාවේ ඉදන් සීතාව පැහැරගෙන ඇවිත් හංගාගෙන ඉදලා තියෙන්නේ මේ දිය ඇල්ලේ පිටුපස තිබුන ගුහාවක. ඒක නිසා තමයි මේ දිය ඇල්ලට රවණා ඇල්ල කියලා නම ලැබිලා තියෙන්නේ. ඇල්ල ප්‍රදේශයේ පිහිටලා තියන මේ දිය ඇල්ලේ සහ අවට පරිසරයේ තියන සුන්දරත්වය නිසාම රාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයින් අතර හරිම ජනප්‍රියයි.



රාවණා ඇල්ල දළ වශයෙන් මීටර් 25ක් පමණ උසයි. ඒ වගේම තමයි මේ දිය ඇල්ල ලංකාවේ තියන ගොඩක් පළල දිය ඇලි අතරින් එකක්. දිය ඇල්ල කදු මුදුනින් පටන් අරගෙන කොටස් කීපයකට බෙදිලා ගල් අතරින් පහලට ඇද හැලෙන්නේ බලන් ඉන්න කාගෙත් ඇසට හරි අපූරු දර්ශනයක් මවා පාමින්. දිය ඇල්ල පහළට වැටෙන තැන තියන ප්‍රදේශයේ සමහර අය නාන්න, සෙල්ලම් කරන්න එහෙමත් පෙළබිලා තියනවා. හැබැයි මේ ප්‍රදේශයේ ගල් හරිම ලිස්සන සුළු නිසා හරිම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දිය ඇල්ලේ වතුර නොසිතු විදිහට එක පාරටම වැඩි වෙන්නත් පුළුවන්.


රවණා ඇල්ල උඩටම යනවනම් පොඩි කැලෑවක් මැද්දෙන් ටික දුරක් කන්ද උඩට ඇවිදගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් හරිම ලේසියෙන් ප්‍රධාන පාරේ ඉදන්ම උනත් රාවණා ඇල්ලේ ලස්සන ඔයාලට බලා ගන්න පුළුවන්.

ඇත්තටම ඔයත් ස්වභාවධර්මයට ආසා කරන, ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ ලංකාවේ තියන ලස්සනම දිය ඇලි අතරෙන් එකක් තමයි මේ රාවණා ඇල්ල. දිය ඇල්ලත් එක්ක බැදිලා තියන ඉතිහාසය හා පුරවුර්ත මේ දිය ඇල්ලේ රාජකීය බව හා ලස්සන තවත් වැඩි කරනවා. රාවණා ඇල්ලත් ඔයාලගේ සංචාරක ජීවිතේ අමතක නොවන මතක සටහනක් වේවි.🥺


        🍀කහටරුප්ප ගලමුදුන විහාරය 


බදුල්ල දිස්ත්‍රික්කයේ නිස්කලංක භූ දර්ශන තුළ පිහිටා ඇති  මෙම පන්සල ආධ්‍යාත්මික වැදගත්කමකින් මෙන්ම ස්වාභාව සෞන්දර්යය අතින්ද ඉහළ වැදගත්කමකින් යුක්ත ස්ථානයකි .ගලක් මුදුනේ පිහිටා ඇති මෙම විහාරයේ රහතන් වහන්සේලාගේ භාවනා කුටි හා පර්වතය යට සැගවී ඇති පුරාණ මාලිගා පිළිබඳ කථා තියෙනවා . කඳු මුදුන දෙසට මුහුණලා ගලමුදුනේ තබා ඇති පුටුව නිසා මෙය ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත.බෝහෝ දෙන මෙහි ඇති සුන්දරත්වය විදීමට මේ පන්සලට එනවා.

ඉතින් බදුල්ලට එන ඔයාලට පුළුවන් මේ පන්සලට ගිහින් එන්න.😊


                           🍀මඩොල්සිම 



මඩොල්සිම  ඇත්තටම පුංචි  ලෝකාන්තයක්. කෙළවරක් නැති ඈතක්, ගැඹුරක් පේන්නේ නැති තවත් අන්තයක්. සද්ධාතිස්ස කුමාරයා ගොවිතැන් කටයුතු ගැන බලන්න දිගාමඩුල්ලට ආවානේ. ඒ දිගාමඩුල්ල සීමා වුණු ප්‍රදේශය තමයි මඩොල්සිම කියන්නේ. බදුල්ල නගරයේ ඉඳන් පස්සරට ඇවිත් ඒ ටවුන් එක පහු කරපු ගමන් වම් අත පැත්තට මග සලකුණු අඟවලා බෝඩ් එකක් ගහලා තියනවා. මේ ගමන යන්න කාර් බාර් නැත්තම් බස් එකකුත් තියනවා. පිටමාරුව කියන නම ගහගත්තු රතු ම රතු පාට ලංගම බස් දෙකක් දවසකට ගමන්වාර දෙකකට මේ පාරේ ධාවනය වෙනවා.



මෙහි ගල්  පර්වත දෙකක් මැද්දෙන් තියෙන මේ බෑවුම දිහා බලන්නත් බයයි. ටිකක් ඉදිරියට ගියාම තියෙනවා නැරඹුම් ස්ථානයක්. අංශක එකසිය අසූවක ඇහැකින් ඈත ලස්සන බලන්න පුළුවන්. මීදුම දවසට නම් ඔය කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් හොඳ කාලගුණයක් තියෙනවා නම් මොණරාගල, මහියංගනය, මහනුවර, අම්පාර, බිබිල, මඩකලපුව වගේ ප්‍රදේශත් සේනානායක සමුද්‍රය වගේ ජලාශ කීපයකුත් දකින්න පුළුවන්.

මං මේ ඔයාලට කිව්වේ බදුලුපුරවරයේ තියෙන වඩාත් ආකර්ෂණීයම නැරඹුම් ස්ථාන කීපයක් විතරයි .පුංචි ශ්‍රී පාදය,,බෝගොඩ පාලම,මුතියංගන රජමහාවිහාරය වගේ තැන් ගොඩක් බදුලුපුරයට එන ඔයාලට නරඹන්න පුළුවන් .

 තවත් මේ වගේ ලස්සන තැනක් ගැන ඊළඟ වතාවේ දී  කතා කරමු.❤️🥰



ඇතුගල වෙහෙර 🌼🌼

මං අද ඔයාලට කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික මෙන්ම ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ගැන.ඒ තමයි ඇතුගල වෙහෙර.🙏🌼 ඇත් කඳක ස්වරූපය ගත් මහා පර්වතය මායිම් ...