Sunday, 12 May 2024

ඇතුගල වෙහෙර 🌼🌼

මං අද ඔයාලට කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික මෙන්ම ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ගැන.ඒ තමයි ඇතුගල වෙහෙර.🙏🌼 ඇත් කඳක ස්වරූපය ගත් මහා පර්වතය මායිම් කරගෙන ඉදිකරන ලද විහාරය ඇත්කද රජමහ විහාරය ලෙසට හඳුන්වනු ලබන අතර එය හත්ථි කන්ද විහාරය ලෙසත් හති ගිරි විහාරය ලෙසත් හඳුන්වනු ලබයි.



කුරුණෑගල මහනුවර මාර්ගයේ ප්‍රධාන හතරමං හන්දියේ සිට මීටර් 300ක පමණ දුරක් ගිය තැන ඇත්කඳ රජ මහා විහාරය හමුවේ. විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා ඈතට දිව යයි. 

ඉතිහාසය 

එය ක්‍රිස්තු පූර්ව 177 - 187 දක්වා දිගු ඉතිහාසයකි. අනුරාධපුර යුගයේ සූරතිස්ස රජතුමා විසින් ඇත්කඳ රජමහා විහාරය නිර්මාණය කළ බව සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මෙම ස්ථානය ආගමික හා ශාසනික වශයෙන් උසුලා ඇති වැදගත්කම් පිළිබඳවයි. සූරතිස්ස රජ දවස මෙම විහාරයේ පන්සියයකට වැඩි රහතන් වහන්සේ වැඩ විසූ බව කියැවේ.

 මීට අමතරව විහාරස්ථානයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සලකනු ලබන්නේ, 4 වැනි පණ්ඩිත පැරකුම් රජු කුරුණෑගල රජ කරන සමයෙහි ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කිරීමය. ආගමික සාහිත්‍යයේ දියුණුව පිළිබඳ කතා කිරීමේදී අස්ගිරි තල්පතින් ඇත්කඳ රජමහ විහාරය පිළිබඳ කරුණු විස්තර කෙරේ. ඒ අනුව අස්ගිරි මහා විහාරයේ ආරම්භයේ දී එහි වාසය සඳහා වැඩම කළ තෙරුන් වහන්සේ ඇත් කඳ විහාරය නවාතැන් පළක් ලෙස භාවිතා කළ බවද එහි සඳහන්ය.


මෙම විහාරයේ ඇති විශාල ගලමුදුනට කුරුණෑගල නගරය ඉතා මනරම්ව දිස් වේ.මේ නිසාත් අවට ඇති ස්වාභාව සෞන්දර්යය අත්විදින්නට කැමති බොහෝ දෙනා මේ ස්ථානය නැරඹීමටත් වන්දනා කිරීමටත් පැමිණෙති.🌼🙏

නුවර අහස යට.....

 මගේ සිත්ගත් හා හදවතේ රැදුණු ඉතාමත් ප්‍රිය සංචාරක අන්තයක් තමයි   මහනුවර. 

එක් දිනකින් සංචාරය කළ හැකි ශ්‍රී ලංකාවේ  ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන මහනුවර කොළඹ නගරයෙන් පසු දෙවන විශාලතම නගරය වේ. මහනුවර නගරය  ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස හදුන්වයි. මීට අමතරව මීටර් 488 ක උන්නතාංශයක කඳුකරයේ මහනුවර පිහිටා ඇති අතර එය කොළඹ සිට කි.මී. 115 ක් දුරින් පිහිටා ඇත. මීට අමතරව මහනුවර සානුවේ කඳුකරයේ පිහිටා ඇති අතර නගරයද ශ්රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිපාලන හා ආගමික නගරයකි. මහනුවර ඇසළ පෙරහැර යනු ශ්‍රී දළදා මාලිගාව විසින් සංවිධානය කරනු ලබන දෙස් විදෙස් කාගේත් ඉතා ජනප්‍රිය සංස්කෘතික මංගල්‍යයකි.



මහනුවර කියූ පමණින් ශ්‍රීලංකාවේ අපට මතක් වන්නේ ශ්‍රී දළදා මාලිගාවයි. මහනුවර වැදගත් තැනක් වන මෙය බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර ඇති අතර  මෙම  විහාරය සමස්ත ශ්‍රීලංකාව තුළම වඩාත්ම වටිනා බෞද්ධ සිද්ධස්ථානයකි.



මෙම මාළිගාව  16 වන සියවසේදී පමණ ගොඩනඟා ඇත. මාළිගාවට ඇතුල් වීමට සංවර  ඇඳුමක් ඇඳීමට ඔබට සිදු වේ. එය ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි.

මෙහි තවත් පසකින් රාජකීය මාලිගා  සංකීර්ණය දැකගත හැකිය.  පැරණි රාජකීය මාලිගාව, බිසවගේ කාමර, සභා කුටිය සහ අවි ගබඩාව වැනි ස්ථාන  වෙත සංචාරය කරමින් පැරණි මහනුවර රාජධානියේ තොරතුරු දැකබලා ගත හැකිය . උඩරට යුගයට අයිතිවාසිකම් කියන මෙම ස්ථාන කෞතුකාගාර ලෙස භාවිතා වේ.

 

මහනුවරට තවත් සුන්දරත්වයක් එක් කරන ස්ථානයක් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය . පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ශ්‍රීලංකාවේ  දක්නට ලැබෙන උද්භිද උද්‍යාන අතරින්  හොඳම උද්භිද උද්‍යානයයි. ශ්‍රීලංකාවේ පුරාණ රජවරුන් මෙම උද්භිද උද්යානය සාදා තිබුණද, බ්‍රිතාන්‍යයන් විසින් උද්‍යානයේ  වෙනස්කම් කර ඇත. මහා බ්‍රිතාන්‍යය තුළ වර්ධනය වීමට නොහැකි වූ ගස් වගා කිරීමට උද්‍යානය භාවිතා කළහ. මෙම උද්භිද උද්‍යානය ඉතාමත් ලස්සන හා මාගේ රටට ආවේණික හා ආවේණික නොවන විචිත්‍රවත් මල් වර්ග හා ශාක වලින් යුක්තය.

සංචාරකයන් අතර තවත් ජනප්‍රිය ස්ථානයක් වන්නේ නුවර   නගර මධ්‍යයේ ඇති  සාප්පු  සංකීර්ණයයි. මහනුවර නගරයේ මෙම මහල් ගොඩනැගිල්ල මහල් 10 කින් සමන්විත වේ. දැන් මෙම සාප්පු සංකීර්ණ පුළුල් පරාසයක විවිධාකාර කඩ සාප්පු වලින් සමන්විත වේ . 

සංචාරකයෙකුට ඉතා වැදගත් කරුණු දෙකක් වන කාලගුණික තත්වය හා මෙම ගමනාන්තයට පැමිණීම ගැනත් අදහසක් පළකරන්නට අදහස් කරමි.

මහනුවර කාලගුණය ලංකාවේ සාමාන්‍ය නිවර්තන දේශගුණයට වඩා ශීතලදායී වේ. සාමාන්‍යයෙන්  මෝසම් කාලය සහ වියළි සමය කාල දෙකක් ඇත . මහනුවර වියළි මාස කිහිපය දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ත් 30 ත් අතර වේ. අනෙක් අතට, මහනුවර මෝසම් සෘතුව මැයි මාසයේ සිට ආරම්භ වන අතර අගෝස්තු මාසයෙන් එය අවසන් වේ. මෝසම් කාලය තුළ සාමාන්‍ය උෂ්ණත්වය සිට 25 ° C දක්වා 29 ° C.  මහනුවර  ආර්ද්රතාවය 70% - 79% අතර ප්රමාණයක් පවතී.

තල්පේ වෙරළ බලන්න යමු

 කඳුකරයේ සීතලද කඳුවැටි, දිය ඇලි පිරි හරිත වන තුරුලතා පිරුණු බිම්කඩින් මඳක් ඈත්ව ,මං අද කියන් දකුණු වෙරළ තීරයේ ලස්සන තැනක් ගැන. ඒ තමයි  ගාලු මාතර ඉසව්වේ  ස්වභාවික මුහුදු තඩාග.

ගාල්ලට පැමිණි පසු උණවටුන හරහා තල්පෙට ළඟා වීමට පොදු ප්‍රවාහන සේවය යොදාගන්න පුලුවන් .

දකුණු වෙරළ අලුත්ගම සිට බොහෝ සංචාරක ගම් දනව් පසුකරමින් ගාල්ල මාතර හරහා කිරින්ද හම්බන්තොට දක්වා දිවයයි. ඉන් අලුත්ගම සිට හික්කඩුව හා ගාල්ල අතරත් ගාල්ල සිට සෘජුවම මාතර දක්වාත් වෙරළ තීරය තුළ පවතින ස්වාභාවික වෙරළ සැබැවින්ම විදේශිකයන්ට මිහිබට සුරපුරක් බඳුය. අව්ව තැපීම මූලික අරමුණ කරගෙන වෙරළ තීරයේ මුහුදු රළ සමඟින් ඔබ මොබ යන විදෙස් සංචාරකයන් ඕනෑතරම් මෙම වෙරළ හා සමීපව දැක ගත හැකිය.


සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොටගෙනම දක්ෂිණ වෙරළබඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව අති මහත්ය. ගාල්ලට පැමිණෙන බොහෝ විදේශිකයෝ ගාලු කොටුවේ ප්‍රෞඪ සුන්දරත්වය විඳගත් පසු උණවටුන හෝ ආශ්‍රිත වෙරළ තීරයකට ගොස් තවත් අත්දැකීම් ලබා ගනිති. තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වන තටාක කිහිපයක් මේ දිනවල දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.  


පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළටද දිය කඳ හළමිනි. විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය ස්නානය සිදු කරති .

මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය. මන්ද ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ. අද වන විට මෙම වළවල් සුන්දර තඩාග ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.  


විශේෂයෙන්ම උදෑසන කාලය තුළ මෙම වළවල් ​ෙහාඳින් දැකගත හැකි අතර ඇතැම් විට වඩදිය - බාදිය හේතුකොට ගෙන මෙවා වසාගෙන මුහුදු ජල කඳ වෙරළට පැමිණිය හැකිය. එවිට මේවා තුළට බැස සිටීම අනතුරුදායක විය හැක. කෙතරම් සුන්දරත්වයක් විනෝදයක් මෙම තඩාග ගෙන දුන්නද මේ අසලම එක්තරා අනතුරක් පවතින බව මෙහි පැමිණෙන්නෝද දනිති. එනම් ඉකිරි නම් මුහුදු සත්වයා මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය.

ඉතින් ගාලු පුරවරයට එන ඔයාලටත් මේ වෙරලේ සුන්දරත්වය විදින්න හැකියාව තියෙනවා .💙💙








Friday, 10 May 2024

කදු වලින් වට වූ සුන්දරිය "මන්දාරම් නුවර "

මන්දාරම් නුවර


 මන්දාරම් නුවර යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි.  රාවණා රජුගේ යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම සුන්දර ගම්මානය මීදුම සහිත කඳු සහ දිය ඇලි වලින් වටවී ඇත.  ගම්මානය බටහිරින් පිදුරුතලාගලින් ද නැගෙනහිරින් බලගොල්ල කඳුවැටිවලින් ද මායිම් වේ.  එය දේශීය හා විදේශීය යන දෙඅංශයෙන්ම ජනප්‍රිය කඳු නැගීමේ ප්‍රදේශයකි.මන්දාරම්  නුවර කඳු වැටි වලින් වටවී ඇති නිසාත් දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී ඇති නිසාත් "මීදුම නගරය" ලෙසද හැඳින්වේ.  සුන්දර "කොළපතන ඇල්ල" දිය ඇල්ල ද මෙම ගම්මානයේ පිහිටා ඇත.  ටර්කියුයිස් ජලය, හරිත වනාන්තර සහ තණබිම් සහිත සීතල මීදුමෙන් ඔතා ඇති මන්දාරම් නුවර යනු ස්වර්ගීය ස්ථානයකි.  එහි භූගෝලීය පිහිටීම නිසා ගමට වසරේ වැඩි කාලයක් වර්ෂාපතනය ලැබේ.


 මන්දාරම් නුවරට යන්නේ කොහොමද ??👣

නුවරඑළියේ සිට දුර - 39.8 km (පැය 1 විනාඩි 34)

 නුවරඑළියේ සිට නුවරඑළිය-උඩ පුස්සැල්ලාව මාර්ගය ඔස්සේ දළ වශයෙන් කිලෝමීටර් 27.8ක් ගමන් කර පදියපැලැල්ල - මන්දාරම් නුවර මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් 12.4ක් ගොස් මන්දාරම් නුවරට ළඟා විය යුතුය.

මන්දාරම් නුවර ආසන්නයේ පිහිටි දිය ඇලි ගණනාවක් තිබේ.

  •  එලමුල්ල ඇල්ල
  •  කබර-ගල ඇල්ල
  •  දිගල හින්න ඇල්ල
  •  කළු පාලම ඇල්ල
ඉතින් ස්වාභාවික සෞන්දර්යය අත්විදින්න කැමති ඔයාලට මන්දාරම් නුවර සොඳුරු පාරාදීසයක් වේවි.

Wednesday, 8 May 2024

ගම්පහ තියෙන ලස්සනම තැනක් ❤️🍀

 ගම්පහ මල්වත්ත .

ගම්පහ මේ වගේ ලස්සන තැනක් තියෙනවද  කියලා ඔයාලට හිතාගන්නත් බැරි වෙයි.ඉතින් අපි බලමු එහේ විස්තර ටිකක්.........

                 👣 ගමන් මාර්ගය 

ගම්පහ නගරය පසුකර ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක් යන විට වම්පස පිහිටි මල්වත්ත පාර දිගේ ස්වල්ප දුරක් යන විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පිහිටා ඇත.

විවෘතව තැබෙන වේලාවන් - පෙ.ව 8.00 - පස්වරු 5.30


ගම්පහ නගරය පසුකර ගම්පහ- මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක් ගිය පසු මාර්ගයේ වම්පස පිහිටි මල්වත්ත දිගේ ස්වල්ප දුරක් යන විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හමුවේ. ඒ, බොහෝ දෙනකු දන්නා ගම්පහ මල් වත්තයි.
 
බැලූ බැලූ අත හරිත පැහැයෙන් දිලෙන නෙතට සෞම්‍ය සිසිලක් ගෙන දෙන ගම්පහ මල්වත්ත පවුලේ සියලු දෙනාට නැරඹීමට යෑමට සුදුසු සුන්දර පරිසරයකි. එහි ඇති සුන්දරත්වය නිසාම විවාහ මංගල ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙකු හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තෝරා ගනු ලබයි. කුඩා දරුවන්ට විනෝද වීමටත් පවුලේ සැමට නිදහසේ ගතකිරීමටත් සුදුසු ස්ථානයක් ලෙස ගම්පහ මල්වත්ත ප්‍රසිද්ධය. අක්කර 36ක පමණ භූමි පෙදෙසෙක පිහිටා තිබෙන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය විදෙස් සංචාරකයන් අතර පවා ජනප්‍රිය සොඳුරු වන අරණක් ලෙස හැඳින්විය හැකියි.




මෙරට ඇති ප්‍රධාන උද්භිද උද්‍යාන අතරට අයත් වන හෙනතරත්ගොඩ උද්භිද උද්‍යානය ද සුදු ජාතිකයන්ගෙන් අපට හිමිවූවකි. එහෙත් එහි මුල් අයිතිකරු වන්නේ ඒ ද සොයිසා මුහන්දිරම් නම් ප්‍රභූවරයෙකි.. පසුකලෙකදී මෙම භූමිය රජයට පවරා ගෙන ඇත. ශ්‍රී ලංකාව තම අණසකට යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට දේශගුණය කෘෂිකර්මාන්තයට සහ සෙසු වගාවන්ට වඩාත් යෝග්‍ය බව වටහා ගත්හ.. ඔවුන් මෙරට උද්භිද උද්‍යාන ඇති කළේ විවිධ රටවලින් ගෙන්වා ගත් විවිධාකාර වෘක්ෂලතා ඇතුළු ශාක වර්ග පර්යේෂණ මට්ටමින් සිටුවීම සඳහාය.



හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ආරම්භ කර ඇත්තේ 1876 වසරේදීියි. ගම්පහ මල් වත්ත කී සැණින් බොහෝ දෙනකුට සිහි වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම රබර් ගසයි. ඊට හේතුව ලංකාවේ පළමු වතාවට රබර් වගාව පර්යේෂණාත්මක සිදු කළ භූමිය හෙතරත්ගොඩ උද්භිද උද්‍යානය වීම නිසයි. මුල්ම රබර් බීජය හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය වන්නේ ඒ අනුවයි. එහෙත් ඒ මුල් ශාඛය මුල් කාලෙය්දී මියගොස් ඇති අතර දෙවැනි රබර් ශාකට 1988දී සුළි සුළඟකින් විනාශ වී ඇත. එහෙත් අදටත් මෙරට විශාලතම රබර් ශාකය ඇත්තේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේය. එහි උස මීටර් 40ක් වන අතර වට ප්‍රමාණය මීටර් 5.7කි.
තවත් සුවිශේෂී කරුණක් නිසා ද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වැදගත් වේ. ඒ, ගම්පහ නගරයේ සංවර්ධනය සඳහා මෙම උද්‍යානය හේතු වී තිබීමයි. වත්මන් ගම්පහ දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙන පැරිණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය එදා ස්ථාපිත කර ඇත්තේ රබර් පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන විදේශීය විශේෂඥයන්ට දුම්රියෙන් පැමිණීම සඳහාය. ඒ ආසන්නයේ ඇති ගම්පහ තානායම ඉදිකර ඇත්තේ ඔවුන්ට ලැගුම් ගැනීම සඳහා බවත් පැරන්නන්ගේ අදහසයි.


දුර්ලභ ශාක සහ සුන්දර මල්වර්ගවලින් සමන්විත මෙම උද්‍යානය නරඹන්නට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝදෙනකු පැමිණෙති. සොබාදහම සහ තුරුලතාත් පිළිබඳ පර්යේෂණ කරන්නන්ටද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පාරාදීසයකි. එකම උද්‍යානයක් තුළ විවිධ අංශ කිහිපයක් නිර්මාණය වී තිබෙනු එහි යනු ඔබට දැකගත හැකිය. වනෝද්‍යානය, ඖෂධ උයන, ජපන් ගොමුව, මල් ගොමුව, පලතුරු උයන, ගෘහ පැළ තවාන, පැළ විකුණුම් හල ඒ අතර වේ. මෙහි ඇති සමහර ශාක ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන අතර විශේෂයෙන් සිංහරාජ ඇතුළු වනාන්තරවල දැකිය හැකි දුර්ලභ ශාක හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දැකිය හැකි වේ. මෙහි ඇති ශාක විශේෂ 450ක් පමණ වේ. මීට අමතරව මෙහි පවත්වාගෙන යනු ලබන බෝට්ටු සේවාව ද දේශීය සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රියය.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ශාක පිළිබඳ අධ්‍යාපන කටයුතු, මල් වගා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදේ. මෙම උද්භිද උද්‍යානය සියනෑ පුරවරයට ඓතිහාසික වැදගත්කමක් එක් කරන සාඩම්බර උරුමයක් බව ද කිව යුතුය.



මිහිපිට සොඳුරු පාරාදීසය "රිවස්ටන්"🍀

 



රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්.


ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ යන ගමනේදී, එද්දී සෙම්බුවත්ත වැවත් බලාගෙනම එන්න පුළුවන්. සෙම්බුවත්ත යද්දී, 1949 පටන් ගෙන තියෙන ඇල්කඩුව තේ ෆැක්ටරියත් අහුවෙනවා .

 රිවස්ටන් ගමන නම් මාරම ලස්සන පරිසරයක් අතරින් යන්න තියෙන ගමනක්. කොහොම උනත් ඒ ලස්සන පරිසරය විනාශ නොකර එන්න වග බලාගන්න🥰🥰👣


පිඹුරත්තෑව 💙🌊

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ  දක්නට ලැබෙන සශ්‍රීක හරිත පරිසරයේ විස්මිත දසුන් වලින් වට වූ සුන්දර වැවකි පිඹුරත්තෑව . මාදුරුඔය වේල්ලේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා ඇති මෙය විශේෂයෙන් සවස් කාලයේ අලි ඇතුන් පැමිණීම ඉතා සුලභ බැවින් මෙම වැවේ දිය නෑමේදී ප්‍රවේසම් විය යුතුය.

පිබුරත්තෑව වැවට යන්නේ කොහොමද 🌊🌊💙👣

  පොළොන්නරුවේ සිට මරදන්කඩවල-හබරණ-තිරුක්කොන්දඅඩිමඩු මහා මාර්ගය ඔස්සේ ගමන් කර මනම්පිටිය-අරලගංවිල-මාදුරුඔය මාර්ගය ඔස්සේ අරලගංවිල දක්වා ගමන් කර පිඹුරත්තෑව වැවට යන්න පුලුවන් .






මෙම පිඹුරත්තෑව නම් වැවේ ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී සඳහන් වන්නේ, මෙම පිඹුරත්තෑව වැව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපෘතියක කොටසක් ලෙස ඉදිකරන ලද්දක් බවයි. එසේම එය අරලගංවිල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට ජලය සැපයීම සඳහා ඉදිකරන ලද ජලාශයකි. පිඹුරත්තෑව වැව මූලික වශයෙන් හ¾දුනාගෙන ඇත්තේ එහි වැවේ ජලය පිටාර ගැලීමේ සැලසුම මඟිනි. ජල කාන්දුව සෑදී ඇත්තේ ත්‍රිකෝණ රාශියකිනි. ත්‍රිකෝණාකාර මෝස්තර සහිත ජල කාන්දුවීම් පහකට වඩා මෙහි දක්නට තිබේ. 



දිය ඇල්ලක් නොවුණත් එය දිය ඇලි එකතුවක් වන අතර ජලාශය වාන් දමන කාලයේදී එහි සුන්දරත්වය මැනවින් දැකගත හැකි අතර සංචාරකයන් වන ඔබට රිසි සේ ස්නානය කරමින් ජලයේ බැස විනෝද වන්නට හැකිය. මෙම වැව පිහිනුම් ස්ථානයක් ලෙස ප්‍රදේශවාසීන් විසින් ප්‍රිය කරන අතර සංචාරකයන් සුලබව එහි සුන්දරත්වය අත්දකිනු රිසියෙන් පැමිණේ.





ඇතුගල වෙහෙර 🌼🌼

මං අද ඔයාලට කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික මෙන්ම ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ගැන.ඒ තමයි ඇතුගල වෙහෙර.🙏🌼 ඇත් කඳක ස්වරූපය ගත් මහා පර්වතය මායිම් ...